
ගල් අගුරු සමාගමේ තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 85කට වඩා වැඩි මුදලක් රජයට ඉතිරි කර දීමට හැකිවූ බවත් හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ ගල්අඟුරු ගොඩබෑමේ බත්තල් ගාස්තු, නැව් ගාස්තු සහ කළමනාකරණ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීමට කටයුතු කළ බවත්, එමගින් මෙතෙක් ගෙන්වා ඇති ගල්අඟුරු මෙට්‍රික් ටොන් ප්‍රමාණය වෙනුවෙන් මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වූ බව ඔහු පැවසීය.
2015-2017 වකවානුවේ ලංකා ගල්අඟුරු සමාගමේ සිදුවූ බව කියන ගල්අඟුරු මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජය හමුවේ අසත්‍ය මතයක් නිර්මාණය වෙමින් පවතින බවත්, එකල සභාපතිවරයා ලෙස රජයට සිදුවීමට ගිය විශාල පාඩුවක් වළක්වා ගැනීමට කටයුතු කළේ තමන් බවත් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
එම ප්‍රචාරයන්ට පදනම් වී ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාව වෙත එවකට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවක ප්‍රධානියකු විසින් ලබාදෙන ලද සාක්ෂියකින් බවද ඔහු පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ 'ලිබර්ටි කොමොඩිටීස්' නැමැති සැපයුම්කාර සමාගම ගිවිසුම් වෙනස් කරමින් සිදුකළ වංචනික ක්‍රියාව ප්‍රථමයෙන්ම හඳුනාගත්තේ තමන් සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ බවයි.
එම වංචාව හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ තමන්, අදාළ සමාගමේ ණයවර ලිපි මුදල් කරගැනීම වළක්වා, සැපයුම්කාර සමාගමට ගල්අඟුරු ප්‍රසම්පාදන කටයුතු සඳහා පැමිණිමද වැළැන්වූ බව ඔහු පවසයි.
තවද එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනත් නමකින් ලියාපදිංචි වී පැමිණීමට කටයුතු කරන විට එයද වැළැක්වීමට කටයුතු කරන ලද බවද සඳහන් කරයි.
එමෙන්ම අදාළ සමාගමට එරෙහිව ආරම්භ කළ බේරුම්කරණ ක්‍රියාවලිය ලංකා ගල්අඟුරු සමාගමට වාසිදායක ලෙස අවසන් වී ඇති අතර, බස්නාහිර පළාත්බද වාණිජ මහාධිකරණයද එම තීරණය අනුමත කර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙයි.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව අදාළ වංචනික සමාගමෙන් අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම වත්මන් රජයේ වගකීමක් බවද ඒ මහතා අවධාරණය කරයි.
මීට අමතරව නොරොච්චෝලේ ගල්අඟුරු අළු භාවිතයෙන් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් පාරිසරික ගැටලුවලටද විසඳුම් ලබාදුන් බව ඒ මහතා මතක් කර දෙයි.
ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන් කමිටු ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම අසත්‍ය ප්‍රචාරයන් සිදුවන බවත්, ඉදිරියේදී ජනාධිපති කොමිෂන් සභාව වෙත තමන්ව කැඳවූ පසු මේ සම්බන්ධයෙන් වන සියලු සත්‍ය කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට සූදානම් බවත් මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

















































