
පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ගෙඩියක් ලැබෙනවාද යන්න තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනකදී බර අඩු පාන් සහ විවිධ අක්‍රමිකතා අනාවරණය වී තිබේ.
මෙම මෙහෙයුම යටතේ දිවයින පුරා සිල්ලර වෙළෙඳසැල් සහ බේකරි ඇතුළු ආයතන 118ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, පාන්වල නියමිත බර පවතින්නේද යන්නත්, බර සහ මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර තිබේද යන්නත් මෙහිදී දැඩි ලෙස පරීක්ෂාවට ලක්කර ඇත.
ලැබී ඇති මූලික වාර්තා අනුව, පැහැදිලි බර තොරතුරු ලැබුණු වෙළෙඳසැල් සහ බේකරි අතරින් ආයතන 54කින් බර අඩු පාන් හමු වී තිබේ.
මීට අමතරව, වෙළෙඳසැල් සහ බේකරි 76ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබූ අතර, ආයතන 65ක පාන්වල මිලද නිසි ලෙස ප්‍රදර්ශනය කර නොමැති බව අනාවරණය වී ඇත.
මෙම වැටලීම් මාලාවේ විශේෂත්වය වී ඇත්තේ, සිල්ලර වෙළෙඳසැලකින් බර අඩු පාන් හමු වූ විට එම ආයතනයට පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන විමර්ශනය අවසන් නොකර, අදාළ සැපයුම් දාමය පසුපසට විමර්ශනය කරමින් බේකරි 81ක් පරීක්ෂාවට ලක් කිරීමය.
ඒ අනුව, අදාළ බේකරිවල නිෂ්පාදන ක්‍රියාවලිය සහ එමඟින් අනෙකුත් වෙළෙඳසැල් වෙත පාන් බෙදාහරින ආකාරය පරීක්ෂා කර ඇත.
බර අඩු පාන් නිෂ්පාදනය වන බව තහවුරු වූ අවස්ථාවලදී, නියමිත බරින් යුතු පාන් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස බේකරි හිමියන්ට දැඩි උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ සම්පූර්ණ පාන් ගෙඩියක් ග්‍රෑම් 450ක බරකින්ද, අර්ධ පාන් ගෙඩියක් ග්‍රෑම් 225ක බරකින්ද යුක්ත විය යුතු බවය.
නඩු සංඛ්‍යාව වැඩි කිරීමෙන් ඔබ්බට ගොස්, පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම සහ මූලාශ්‍ර මට්ටමින් මෙම දෝෂ නිවැරදි කිරීම මෙහි අරමුණ වී ඇත.
මෙවැනි විශේෂ වැටලීම් සහ සැපයුම් දාම විමර්ශන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, පාන්වල බර, මිල හෝ වෙනත් වෙළෙඳ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

















































