
හෙරොයින් සමග මාතරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඊයේ (05) දින මාතර වෙල්ලමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 09ක් හා හෙරොයින් ග්‍රෑම් 205ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පැමිණි යතුරුපැදියද එහිදී නිලධාරීන් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර පොලීසිය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගැනුණි.
සැකකරුවන් අවුරුදු 24 හා 25 වයස්වල පසුවන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද මේ වන විට අනාවරණය වී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී එක් සැකකරුවෙකු නවාතැන් ගෙන සිටි කාමරයක තිබී රිපීටර් වර්ගවේ ගිනි අවියක්, ටී 56 ජීව පතරොම් 56ක්, පිස්තෝල ජීව පතරොම් 47ක්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මාතර පොලීසිය විසින් පවත්වයි.

















































