
අප්‍රිකානු මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී තිබේ.
ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අප්‍රිකානු සංගමයේ පූර්ණ සහාය හිමිවූ අතර, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 164ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.
මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට අමෙරිකාව වන අතර, තවත් රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී තිබේ.
වසර 1569 දී ෆ්ලෙමිෂ් ජාතික සිතියම් ශිල්පී ජෙරාඩස් මර්කේටර් විසින් නිර්මාණය කරන ලද සාම්ප්‍රදායික 'මර්කේටර් සිතියම' වසර සිය ගණනක් තිස්සේ භාවිත කර ඇතත්, එයින් අප්‍රිකාවේ සැබෑ විශාලත්වය විකෘති වන බවට දීර්ඝ කාලයක සිට විවේචන එල්ල විය.
එම සිතියම මගින් ග්‍රීන්ලන්තය සහ අප්‍රිකාව සමාන ප්‍රමාණවලින් පෙන්නුම් කළද, සැබවින්ම අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් විශාලය.
ගෝලාකාර පෘථිවි පෘෂ්ඨයක් ද්විමාන (2D) සිතියමක ඇඳීමේදී මෙම විකෘතිය සිදුවන බව සිදුවන බව විචාරකයෝ පවසති.
මෙම අසමානතාව නිවැරදි කිරීමේ පියවරක් ලෙස 2018 වසරේදී සිතියම් විද්‍යාඥයින් පිරිසක් විසින් 'Equal Earth' නමැති නව සිතියම් ප්‍රක්ෂේපණයක් නිර්මාණය කරන ලදී.
පසුගිය පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54 විසිනි එය නිල වශයෙන් පිළිගත් අතර, අප්‍රිකාවේ සැබෑ භූගෝලීය ප්‍රමාණය තේරුම් ගැනීමට එය වඩාත් සුදුසු බව පෙන්වා දෙන ලදී.
අමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය, මෙක්සිකෝව සහ යුරෝපයේ විශාල කොටසක් එකතු කළත්, අප්‍රිකානු මහද්වීපය ඊට වඩා විශාල වන බව සංඛ්‍යාත්මක දත්ත මගින් තහවුරු වන බව අන්තර්ජාල ප්‍රචාරණ කණ්ඩායමක් පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම තීරණය නීතිමය වශයෙන් බැඳී නොසිටියද, ලොව පුරා විවිධ ආයතන, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ මාධ්‍ය භාවිත කරන සිතියම් ඉදිරියේදී වෙනස් වීමට මෙය පදනම වනු ඇත.
සාධාරණ ලෝකයක් ගොඩනැගීමට නිවැරදි සිතියමක් අත්‍යවශ්‍ය බවත්, සිතියම යනු හුදෙක් භූගෝලීය සටහනක් පමණක් නොව දේශපාලනික හා ආර්ථික ප්‍රතිරූපය තීරණය කරන මෙවලමක් බවත් අප්‍රිකානු නායකයෝ සහ භූගෝල විද්‍යාඥයෝ පෙන්වා දෙති.

















































