
ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ (CHOD) සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී වී තිබුණි.
28 වැනි වාර්ෂික ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා කැනඩාවේ වික්ටෝරියා නුවරදී පැවැත්විණි.
“සාමූහික ආරක්ෂාව ශක්තිමත් කිරීම: නිරන්තරයෙන් වෙනස් වන ඉන්දු-පැසිෆික් කලාපයක අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පැවැති සමුළුවට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක ආරක්ෂක හා හමුදා ප්‍රධානීන් එක්ව සිටියහ.
සමුළුව අතරතුර පැවැති බහුපාර්ශ්වික සාකච්ඡාවලදී කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර තිබේ.
වෙනස් වෙමින් පවතින ආරක්ෂක තත්ත්වයන්, නැගී එන අභියෝග සහ ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී අවධානය යොමු කර ඇත.
කැනඩාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජෙනී කැරිග්නන් සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් සැමුවෙල් ජේ. පැපාරෝ විසින් මෙම සමුළුව මෙහෙයවා තිබේ.
මේ අතර, සමුළුවට සමගාමීව ආරක්ෂක ලේකම්වරයා රටවල් කිහිපයක ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්ව තිබේ.
එම සාකච්ඡාවලදී හමුදා පුහුණුව, ධාරිතා වර්ධනය, සමුද්‍රීය ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ආපදා සූදානම ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත.

















































