
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.
විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, දක්ෂ මානව සම්පත් සේවයේ රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම හේතුවෙන් ස්ථාවර නියෝග අනුව තාවකාලික සභාපතිවරයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභා රැස්වීම පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය රැස්වීමට සහභාගී වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගී වී තිබේ.
ජාතික විගණන කාර්යාලයේ විගණන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කර ඇත.
විගණන ක්‍රියාවලිය තාක්ෂණිකව පරිවර්තනය කිරීම තුළින් විගණන කටයුතුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමටත් හැකි වනු ඇති බවද එහිදී පෙන්වා දී තිබේ.
මේ අතර, විගණන සේවයට බඳවා ගන්නා දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් ඇති වන මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව පිළිබඳව ද අවධානය යොමුව ඇත.
දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර පාලන පද්ධතිවල පවතින දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමුවී ඇති අතර, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අදාළ ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ වගකීමක් බව අවධාරණය කර ඇත.
සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති අතර, එම කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දී තිබේ.
විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර ඇත.

















































