
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (2) පැවති තරගයෙන් ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායම ලකුණු 75කින් පරාජය කර පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඩුබාහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 125ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දුනීසියාවට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 49ක් පමණි.
ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 18ක සබඳතාව ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව වූ අතර, එතැන් සිට ලකුණු 31ක් තුළ සෙසු සියලු කඩුලු දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය විස්සයි20 හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් පන්දුවාර 3.3ක් යොමුකර ලකුණු 5කට කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 7ක් දවාගැනීමට සමත් විය.
මීට පෙර ඇය දක්වා තිබූ හොඳම සබඳතාව වූයේ ලකුණු 29කට කඩුලු 4ක් දවාගැනීමය.
මෙය විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තා වූ සම දෙවන හොඳම පන්දු යැවීම වන අතර, ඇයට පෙර පන්දු යවන්නියන් 4 දෙනෙකු කඩුලු 7 බැගින් දවාගෙන තිබේ.
කෙසේ නමුත් මෙය ICC පූර්ණ සාමාජික රටක පන්දු යවන්නියක් දැක්වූ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා අතරට එක්විය.
විස්සයි20 හොඳම කාන්තා පන්දු යැවීම වන්නේ බ්‍රසීල ක්‍රීඩිකාවක් වන ලෝරා කාර්ඩෝසෝ ලෙසතෝ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 4කට කඩුලු 9ක් දවාගැනීමය.

















































