
කොළඹ වරායේ බහාලුම් අංගනයක බහාලුමක් තුළ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 472 ක තොගය ඩුබායි සිට පාකිස්තානයට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පරෙවි සුදා නැමැත්තා විසින් මෙරටට එවන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
එමෙන්ම අංගොඩ ප්‍රියන්ත සහ රූබන් යන අයද ඊට සම්බන්ධ බවට දැනට පොලීසිය සැකපළ කරන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී.
මත්ද්‍රව්‍ය සහිත බහාලුම මොරොක්කෝව වෙත ප්‍රතිඅපනයනය කරන්නට සූදානමින් සිටි බවට වාර්තා වුවත් පොලීසිය සැකකරන්නේ මෙම මත්ද්‍රව්‍ය රට තුළට ගැනීමට සැලසුම් කර තිබූ බවය.
අයිස් බවට සැකකෙරන මත්ද්‍රව්‍ය අඩංගු බහාලුමක් කොළඹ වරාය බහාලුම් අංගනයක තිබෙන බවට විදෙස්ගතව සිටින පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකසහිත බහාලුම පරීක්ෂා කර බැලීම සඳහා ඉකුත් 28 වැනිදා අධිකරණ නියෝගයක්ද ලබාගත් අතර ඒ අනුව ඊයේ (31) දිනයේදී එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇත.
ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ රේගු නිලධාරීන්ගේ සහායද හිමිව තිබේ.
බහාලුම තුළ තිබී කිලෝ ග්‍රෑම් 472ක් පමණ බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණේ එහි තුවා තුළ සඟවා තිබියදීය.
සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වුණේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට ව්‍යාපාරිකයෙකුගේ නමින් එවා ඇති බවය.
ඒ අනුව දෙමටගොඩ පදිංචි 44 හැවිරිදි ආරුමුගන් ශෂිදරන් නැමැති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මීට සම්බන්ධ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු පිළිබඳව අනාවරණ වූ අතර ඔවුන් ජම්පටාවීදියේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.
දෙමටගොඩ ව්‍යාපාරිකයාගේ ආයතනය හරහා අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට පියවර ගත් බව අත්අඩංගුවට පත් පාකිස්තාන ජාතිකයන් දෙදෙනා ප්‍රකාශ කර ඇත.

















































