
මාස 18 ක පමණ කාලයක් එම තනතුරේ කටයුතු කළ අමෙරිකානු යුද හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල් (Dan Driscoll) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම බාර දී තිබේ.
ඔහුගේ මෙම ඉල්ලා අස්වීම ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සමඟ මාස කිහිපයක් තිස්සේ පැවති ගැටුම්කාරී තත්ත්වයන් මත සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතිහාසයේ ලාබාලම යුද හමුදා ලේකම්වරයා වන 41 හැවිරිදි ඩෑන් ඩ්‍රිස්කොල්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ඩ්‍රෝන මිනිසා" (drone guy) ලෙස නිතර හැඳින්විණි.
ජනාධිපති ට්‍රම්ප්ගේ "අමෙරිකාව නැවත බලවත් කිරීමේ" න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනය යාමේදී ඔහු ඉතා ප්‍රභල චරිතයක් වී ඇති බවත්, යුද මෙහෙයුම් අතරතුර "විශිෂ්ට නායකත්වයක්" ලබා දී ඇති බවත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඩ්‍රිස්කොල් සහ හෙග්සෙත් අතර ඇති වූ තිරය පිටුපස ගැටුම්වල නිශ්චිත තොරතුරු අපැහැදිලි වුවද, හෙග්සෙත් විසින් ඉල්ලා අස්වන ලෙස පවසා තිබූ යුද හමුදා ප්‍රධාන මණ්ඩලික ප්‍රධානි රැන්ඩි ජෝර්ජ් (Randy George) සමඟ යුද හමුදා ලේකම්වරයා දැඩි මිත්‍රත්වයක් පවත්වන බව වාර්තා වේ.
පෙන්ටගනයට පැමිණීමෙන් පසු ආරක්ෂක ලේකම් හෙග්සෙත් විසින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දුසිමකට අධික සංඛ්‍යාවක් ඉවත් කර ඇති අතර, මෙයට නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් (John Phelan), හමුදා ජෙනරාල් ඩෙවිඩ් හොඩ්නේ (David Hodne) සහ මේජර් ජෙනරාල් විලියම් ග්‍රීන් (William Green) වැනි ප්‍රමුඛ පෙළේ නායකයන් ද ඇතුළත් වේ.
යුද හමුදා ලේකම් තනතුර යනු එක්සත් ජනපද යුද හමුදාවේ ඉහළම සිවිල් නායකයා වන අතර, ඔහු සක්‍රීය සේවා භටයන් මෙන්ම ජාතික ආරක්ෂක භටයන් සහ රක්ෂිත සොල්දාදුවන් මෙහෙයවීම අධීක්ෂණය කරයි.
හිටපු යුද හමුදා නිලධාරියෙකු වන ඩ්‍රිස්කොල්, ඉරාක යුද්ධයට ද සහභාගී වී ඇති අතර, පසුගිය වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහා ද ප්‍රමුඛ දායකත්වයක් ලබා දී ඇත.
තවද ඔහු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ සමීප මිතුරෙකු ද වේ.

















































