
හොරණ ප්‍රදේශයේ පසුගිය සති කිහිපය තුළ රන් මාල සොරකමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම මේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරුවෙකුගේ මවක් සහ අනෙක් සැකකරුගේ නැන්දනියද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පසුගිය සති කිහිපය තුළ යතුරුපැදිවලින් ගමන් කරමින් ප්‍රදේශය බිය ගන්වමින් රන් මාල සොරකමේ නිරත වී ඇත.
සැකකරුවන් පිරිස සමග මාල කැඩීම සඳහා භාවිත කළ යතුරුපැදිය සහ රන් භාණ්ඩ විකුණා මිලදී ගත් යතුරුපැදි දෙකක්ද මංකොල්ල කන ලද රන් භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාර්තුපාන සහ බැල්ලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 23 සහ 35 යන පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් පසුගිය 25 වැනිදා සිට යතුරුපැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ ස්ථාන හතරකදී මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් භාණ්ඩ මංකොල්ලකා පලාගොස් ඇති අතර පොලීසිය ප්‍රදේශයේ CCTV කැමරා උපයෝගී කරගනිමින් දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන හොරණ පොලීසිය විසින් සිදුකරති.

















































