
අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහය සඳහා ක්‍රිකට් අනුබද්ධ සාමාජිකත්වය පිරිනැමීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එළැඹෙන සැප්තැම්බර් 18 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
මුම්බායි හිදී පැවැත්වෙන මෙම රැස්වීමේදී එම දූපත්වල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන ප්‍රාදේශීය ආයතනය වන 'අන්දමන් සහ නිකොබාර් ක්‍රිකට් සම්මේලනය' ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ සාමාජිකත්වය ලබාදීම පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.
මෙම දූපත් සමූහයේ ක්‍රිකට් පාලනය සඳහා BCCI හි අවධානය යොමු වූ පළමු අවස්ථාව මෙය වේ.
ඉන්දීය ප්‍රධාන භූමියෙන් නැගෙනහිරට වන්න කිලෝමීටර් 1,000කට වඩා දුරින් පිහිටි අන්දමන් සහ නිකොබාර් දූපත් 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විතය.
ඉන්දීය ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයින් වෙත යවන ලද නිවේදනයක දක්වා ඇත්තේ 'අන්දමන් සහ නිකොබාර් දූපත් වෙනුවෙන් සාමාජිකත්වය පිරිනැමීම' පිළිබඳ සාමාජික සංගම්වල අදහස් විමසා සිටින බවය.
ඒ අනුව අදාළ සමාජික සංගම් මෙම සාමාජිකත්ව ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම දූපත් තුළ ක්‍රිකට් තරග පැවැත්වීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයනු ඇත.
දැනට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික දේශීය තරගාවලි කණ්ඩායම් 38ක් සහභාගී වේ.
මෙම දූපත් නියෝජනය කරන කණ්ඩායමක් එකවරම දේශීය තරගාවලි සඳහා ඇතුළත් කිරීමට පියවර නොගත්තද, ක්‍රමයෙන් ඔවුන්ව පුහුණු කර තරගාවලි සඳහා එක් කර ගැනීමට නියමිතය.

















































