
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මවු සමාගම වන මෙටා, සිය සමාජ මාධ්‍ය ජාල මගින් ළමයින්ට සිදු වූ මානසික හානිය සහ ඇබ්බැහි වීම් සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රාන්න 29ක් විසින් පවරන ලද නඩුව සමථයකට පත් කර ගැනීමට එකඟ වී තිබේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 18ක් දක්වා වූ මුදලක් ගෙවීමට එම සමාගම එකඟතාව පළ කර ඇත.
මෙම එකඟතාවත් සමග මේ වනවිට විභාග වෙමින් පැවති නඩු කටයුතු අත්හිටුවා ඇති අතර, විනිසුරු ප්‍රකාශ කර ඇත්තේ මෙම ගිවිසුමට අනුමැතිය ලබාදීමට තමන් සූදානම් බවය.
මෙම එකඟතාවයේ කොටසක් ලෙස ඉදිරියේදී යොවුන් පරිශීලකයින් සඳහා සිය වේදිකාවල විශේෂ වෙනස්කම් සිදු කිරීමට මෙටා සමාගම බැඳී සිටියි.
ඒ අනුව නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දිනපතා භාවිත කළ හැකි කාලසීමාවන් සීමා කිරීම සහ රාත්‍රී කාලයේදී යෙදුම් භාවිත කිරීම තහනම් කිරීම වැනි ආරක්ෂිත පියවරයන් හඳුන්වාදීමට නියමිතය.
කැලිෆෝනියා හි නීතිපතිවරයා සඳහන් කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙම නව යාවත්කාලීන කිරීම් ක්‍රියාත්මක වන බවය.
මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් මෙටා සමාගම ප්‍රකාශ කර සිටියේ, මෙම එකඟතාව දෙමාපියන් සවිබල ගැන්වීම සහ යෞවනයන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් තමන් දිගුකාලීනව ගෙන ගිය උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කරන බවයි.
එමෙන්ම මෙවැනිම සීමාවන් සහ ආරක්ෂිත පියවරයන් සිය පරිශීලකයින් සඳහා ක්‍රියාත්මක කරන ලෙස මෙටා සමාගම 'TikTok' සහ 'YouTube' වැනි අනෙකුත් ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයන්ගෙන්ද ඉල්ලා සිටියි.
වන්දිය ලෙස ඩොලර් බිලියන 18ක විශාල මුදලක් ගෙවීමට සිදු වුවද, එය සමාගමේ මූල්‍ය ශක්තියට දැඩි බලපෑමක් එල්ල කර නොමැති බව සඳහන්.
මෙටා සමාගම මේ වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා වූ කාලය තුළ පමණක් ඩොලර් බිලියන 61ක ආදායමක් ලබා ඇති අතර, නඩුව සමථයකට පත් වූ පුවතත් සමග කොටස් වෙළෙඳපොළ තුළ මෙටා සමාගමේ කොටස්වල අගය ඉහළ ගොස් තිබේ.


















































