
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ලේකම් නීතිඥ අනුරාධා ලක්මිණි ගුරුගේ මෙනවිය විසින් නිදහස් පක්ෂ කාන්තා සංවිධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.
අදාළ පෙත්සම මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් විධිවිධාන මගින් වර්ථමානයේ ධුරය දරන විනිශ්චයකාරවරුන්ට සෘජුව බලපෑමක් ඇතිවන බැවින් එය අධිකරණයේ ස්වාධීනත්වයටත් බලතළ වෙන් කිරීමේ මූලධර්මයටත් සංවරණය හා තුලන පවත්වා ගැනීමටත් දැඩිව බලපෑම් ඇති විය හැකි බවය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා සිදුකළ යුතු බවත් මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාණවත් මහජන කතිකාවත් නොමැතිව සහ විනිවිදභාවයකින් තොරව කඩිමුඩියේ ගෙන ආ සංශෝධනයක් බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති ජනතාවගේ පරමාධිපත්‍යය සහ 4 (ඇ) යන මගින් ආරක්ෂා කර ඇති ජනතාවට අත්හළ නොහැකි පරමාධිපත්‍ය බලයට සෘජු අහිතකර බලපෑමක් මෙම සංශෝධනය මගින් සිදුවන බවත් අදාළ පෙත්සම තුළින් පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙරට නීතිය මගින් ආරක්ෂා කර ඇති අධිකරණයේ ස්වාධීනත්වය ශීර්ෂය යටතේ ඇති ව්‍යවස්ථාවන්ට සිදුකරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයට අමතරව ජනතාවගේ ද සෘජු අනුමැතිය ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් අව්‍යශ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා එම කාන්තා සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත.

















































