
මියගිය බවට පොලීසිය විසින් නිල වශයෙන් දැනුම් දී, අවමංගල්‍ය කටයුතු සඳහා සියලු සූදානම් වෙමින් තිබියදී, මියගියා යැයි කියූ පුද්ගලයා සූදානම් කළ මළගෙදරටම පණපිටින් පැමිණි අපූරු සිදුවීමක් ගල්ගමුව, කොහොබන්කුලම ගම්මානයෙන් වාර්තා වේ.
මෙසේ සිය නිවසට හදිසියේම පැමිණ ඇත්තේ ගල්ගමුව, කොහොබන්කුලම පදිංචි ඩී. එම්. කීර්තිසේන නමැති අයෙකි.
වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටි කීර්තිසේන මහතා බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බවට නාන්නේරිය පොලීසිය මගින් ඔහුගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.
මෙම පණිවිඩයත් සමග දැඩි කම්පනයට පත් ඥාතීන් සහ ගම්වාසීන් එකමුතුව අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.
ගම්මානය පුරා අවමංගල්‍ය බැනර් සවි කර, මළගෙදරට අවශ්‍ය පන්දලම් ගැසීම් සහ ආදාහන කටයුතු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටි මොහොතක, සැවොම මවිතයට පත් කරමින් කීර්තිසේන මහතා පණපිටින් නිවසට පැමිණ තිබේ.
තමන් වෙනුවෙන් ලෑස්ති වෙමින් තිබූ මළගෙදරටම කීර්තිසේන මහතා පැමිණීමත් සමග මුළු ගමම දැඩි ආන්දෝලනයකට හා මවිතයට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.



















































