
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින්, එහි පවතින දිගු රෝගී පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහා වූ විශේෂ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් අත්සන් තබා තිබේ.
මෙම අවබෝධතා ගිවිසුමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යු ධම්මික කුමාර මහතා අතර අත්සන් කෙරුණු අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින KDU ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර සහ දියුණු වෛද්‍ය උපකරණ පැවතුණද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත්වලින් මෙතෙක් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇත.
අනෙක් අතට, ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය අතිනවීන පහසුකම්වලින් යුක්ත වුවද, අධික ඉල්ලුම නිසා රෝගීන් විශාල පිරිසක් දිගුකාලීන පොරොත්තු ලේඛනවල පසුවේ.
මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස, ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස KDU රෝහලේ පහසුකම් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථා සැලසේ.
ඒ අනුව, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන්, පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා KDU රෝහල් පරිශ්‍රයේදී හෘද සැත්කම් සිදුකිරීම සහ විශේෂඥ ප්‍රතිකාර ලබාදීම සිදුකෙරේ.
රාජ්‍ය අංශයේ සම්පත් ඒකාබද්ධ කරමින් පොදු ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් දියත් කෙරෙන මෙම සුවිශේෂී වැඩපිළිවෙළ මෙරට නිදහස් සෞඛ්‍ය සේවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

















































