
ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Tata Consultancy Services විසින්, ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche AG සමාගමට අයත් 'MHP' මෝටර් රථ සහ උපදේශන ඒකකය මිලදී ගැනීමට නියමිත බව පවසයි.
TCS සමාගම සහ MHP වෙනුවෙන් යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු ආයෝජනයක් කිරීමට Porsche සමාගම එකඟවී ඇති අතර, මෙම ගනුදෙනුව එම තීරණාත්මක හවුල්කාරිත්වයේ එක් පියවරකි.
ව්‍යාපාරික උපදේශනය සහ මෘදුකාංග පාදක කරගත් වාහන තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවක් ඇති MHP සමාගමේ ව්‍යවසාය වටිනාකම යුරෝ මිලියන 320ක් ලෙස තක්සේරු කර ඇති අතර, මෙම ගනුදෙනුව ඉදිරි මාස 3-4 ඇතුළත අවසන් කිරීමට අපේක්ෂිතය.
මෙම වසර පහක ගිවිසුම යටතේ, Porsche සමාගමේ ඉංජිනේරු, නිෂ්පාදන, මෙහෙයුම් සහ පාරිභෝගික සේවා අංශයන් සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කිරීම මෙන්ම නවීන මෝටර් රථ තාක්ෂණය සහ මෘදුකාංග පද්ධති සංවර්ධනය කිරීමට TCS සමාගම කටයුතු කරනු ඇත.
Porsche හි මව් සමාගම වන Volkswagen සමූහය, චීන තරගකාරිත්වය, තීරුබදු සහ විදුලි වාහන නිෂ්පාදන වියදම් හමුවේ සිය පිරිවැය අඩු කරගැනීමේ සහ ව්‍යාපාරික ව්‍යුහය සරල කරගැනීමේ දැඩි පීඩනයකට ලක්ව සිටී.

















































