
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙරට අතර වෙළෙඳ, බලශක්ති, කෘෂිකාර්මික පොහොර සහ න්‍යෂ්ටික ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවී ඇති බව වාර්තා වෙයි.
ලබන මස නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති පුටින් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර, ඊට පෙර ඉකුත් ඉරිදා ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් දෙදින නිල සංචාරයක් සඳහා මෙලෙස මොස්කව් නුවර වෙත පැමිණ තිබුණි.
ඉන්දියාව සහ රුසියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමට දෙපාර්ශ්වයම දැඩි උත්සාහයක නිරත වන පසුබිමක මෙම හමුව සිදුවී තිබේ.
මේ අතර රුසියානු පුවත් වාර්තා කරන්නේ ඉන්දියාව වෙත සපයන පොහොර ප්‍රමාණය ඉහළ නැංවීමට රුසියාව පියවර ගෙන ඇති අතර ඉදිරියටත් එම සැපයුම් අඛණ්ඩව ලබාදීමට සූදානම් බව ජනාධිපති පුටින් ප්‍රකාශ කර ඇති බවය.
පසුගිය වසරේ දෙරට අතර වෙළඳාම සුළු වශයෙන් පහත වැටුණද, මේ වසරේදී එය නැවතත් වර්ධනය වී ඇති බවද පැවසෙයි.

















































