
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ යෝජනාව රජය මෙතෙක් සලකා බලා නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගියදා වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අදහස් දක්වමින් ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ත් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
කෙසේ නමුත් මේ සම්බන්ධව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජය පැවසුවේ පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය පිරිස් හෝ උසස් පෙළින් පසුව අය සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා විවිධාකාර යෝජනා විවිධ ආයතනවලින් සහ විවිධ පුද්ගලයින් වෙතින් ලැබී ඇති නමුත් මේ සම්බන්ධව අවසන් තීරණය රජය විසින් ගන්නා බවය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"පාසල් අධ්‍යාපනය අතරමග හැර ගියා හෝ උසස් පෙළින් පස්සේ පාසල් අධ්‍යාපනය නැවැත්වූ අය සහ සමහර කොටස් වෙත වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සහ වෘත්තිය පුහුණුවක් ලබා දීම සම්බන්ධව විවිධ පුද්ගලයින්ගෙන්, විවිධ ආයතනවලින් යෝජනා ඇවිත් තියෙනවා. ඒ සමහර යෝජනා ක්‍රියාත්මක වෙනවා ඔය කියන යෝජනාව තවමත් රජය සලකා බලලා නෑ. විවිධාකාර යෝජනා පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා මේ වැඩපිළිවෙලවල්වලදී ඒ අයට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් රජය තමයි අවසාන වශයෙන් තීන්දු කරනවා මොකක්ද කරන්නේ කියලා. දැනට එහෙම වයස 40ද 50ද 60ද 30 ද කියලා එහෙම තීන්දුවක් රජය අරන් නෑ."
















































