
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.
ටීවි දෙරණ නාලිකාවේ '360' කාලීන වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ද දැඩි බලපෑමක් එල්ල වන බවය.
අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන බැවින්, ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පමණක් ප්‍රමාණවත් නොවන අතර ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව සාලිය පීරිස් මහතා අවධාරණය කළේය.
එමෙන්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන් අධිකරණයේ නඩු කටයුතු වේගවත් වන බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කර සිටී.
මහජනතාවට අදාළ නඩු වැඩි වශයෙන් විභාග වන්නේ මහෙස්ත්‍රාත් සහ මහාධිකරණ වැනි පහළ අධිකරණවල බවත්, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ වයස වැඩි කිරීමෙන් පහළ අධිකරණවල නඩු වේගවත් නොවන බවත් පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,
"අපේ තර්කය වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම සංශෝධනයකට ජනමත විචාරණයක් ඕනේ. මොකද ඒකේ බලපෑමක් වෙනවා ජනතාවගේ පරමාධිපත්‍යයට. මේක අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන, ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන කාරණාවක්. ඒ අනුව 2/3ක් මදි ජනමත විචාරණයකුත් අවශ්‍යයි. මං මේක කියන්න ඕනේ. මේ සංශෝධනයේ ප්‍රශ්නේ 2/3ක් ඕනෙද, 2/3යි ජනමත විචාරණයකුත් ඕනෙද කියන එක නෙවෙයි. මේ සංශෝධනය නොකළ යුතු සංශෝධනයක්. සමහර සංශෝධන තියෙනවා 2/3කුයි ජනමත විචාරණයයි දෙකෙන්ම සම්මත කරපු. සමහර දේවල් තියෙනවා සදාචාරාත්මක නොවෙන. නීතිය පැත්තකින් තියන්න, ඒක උසාවියෙන් තීරණය කරයි. නමුත් නොකළ යුතු දේවල් තියෙනවා. ඒ නොකළ යුතු දේවල් මේ වගන්තිවලට අනුව තීරණය වෙන්නේ නැහැ. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ ජනතාවට, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කාරණාවක්..
කොහොමද විශ්‍රාම වයස වැඩි කිරීම තුළින් නඩු වේගවත් වෙන්නේ? මොකද හොරුන්ගේ නඩු කොහෙද තියෙන්නේ? හොරුන්ගේ නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් උසාවිවල. පහළ උසාවිවල. නැත්තම් මහාධිකරණයේ. එතකොට මහාධිකරණයේ හරි මහේස්ත්‍රාත් අධිකරණයේ හරි අපි හොරු කියලා කියන අයගේ නඩු ඉක්මන් වෙන්නේ කොහොමද විශ්‍රාම වයස වැඩි කරලා? මේ ඊළඟ අවුරුදු දෙකේ හෝ තුනේ ඔය හොරුන්ගේ නඩු අහන මහාධිකරණ විනිශ්චයකාරවරු විශ්‍රාම යනවාද? ඒකයි මම කියන්නේ මේක සම්පූර්ණ බොරු කතාවක්...
නීතිඥවරු නියෝජනය කරන්න එක ප්‍රධාන සංගමයයි තියෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය. නීතිඥවරු බහුතරයක් විරුද්ධ නම් ඒ අය ඔය මහා සභා රැස්වීමට ඇවිල්ලා විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා ඔය 22ට විරුද්ධව ගෙනාපු යෝජනාව පරාද කරනවා. නීතිඥ සංගමයේ සාමාජිකයන් මේ සභාපතිතුමා කියන විදියට නටන්නේ නෑ. තමුන්ලා විරුද්ධ නම් ඇවිල්ලා කියනවා. ඔය ජනප්‍රිය නීතිඥවරු කියලා තැනින් තැන මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන නීතිඥවරු කීප දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ. එක මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා කටක් ඇරලා කිව්වේ නෑ එක විධායක කමිටු රැස්වීමකවත් මම මේකට විරුද්ධයි කියලා."
















































