
ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් නිවේදනය කර තිබේ.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර සිටියේ ඉරානයට එරෙහිව දැඩි ආර්ථික බලපෑම් එල්ල කිරීමේ මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර ඇති බවත් ලොව පුරා පිහිටි ඉරානයේ මූල්‍ය කටයුතුවලට පහර දීම එහි අරමුණ වන බවත් ය.
එමෙන්ම තෙල් ඇතුළු ඉරානයේ සියලුම ආදායම් මාර්ග ඉලක්ක කරන අතර ඉරානය සමඟ ගනුදෙනු කරන වෙනත් රටවල් සහ සමාගම්වලටද සම්බාධක පනවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ස්කොට් බෙසන්ට් පවසන්නේ ලෝකයේ රටවලට අමෙරිකාව හෝ ඉරානය අතරින් එකක් තෝරා ගැනීමට සිදුවන බවය.
මෙම මෙහෙයුම "Operation Economic Outcast" ලෙස නම් කර ඇති අතර, ඔහු එය "ආර්ථික D-Day" ලෙසද හඳුන්වා ඇත.
ඉරාන තෙල් සමඟ සම්බන්ධ වන සියලුම පාර්ශවයන්ට විරුද්ධව පියවර ගන්නා බව එහිදී ඔහු අනතුරු ඇඟවීය.
මෙම ආර්ථික මෙහෙයුම ආරම්භ වූයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කර මාස හයකට පසුවය.
එම ප්‍රහාරවලින් ඉරාන නායක අලිකමේනි ඇතුළු පිරිසක් මියගියත්, ඉරාන රජය පෙරළීමට අමෙරිකාව අසමත් විය.
ඊට ප්‍රතිචාර ලෙස ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගත්තේය.
එමගින් ලෝක වෙළඳපොළේ තෙල් හා ගෑස් මිල විශාල ලෙස ඉහළ ගියේය.
මේ අතර නව සම්බාධක මගින් ඉරානයේ ඩිජිටල් වත්කම්, තාක්ෂණය, රන්, ගුවන් සේවා සහ නාවික ක්ෂේත්‍ර ඉලක්ක කෙරේ.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං, චීනය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල පිහිටි සමාගම් සහ පුද්ගලයන් 60දෙනෙකුටද සම්බාධක පනවා ඇත.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්රාචි පැවසුවේ අමෙරිකාවේ සම්බාධක අලුත් දෙයක් නොවන බවත්, ඉරාන ජනතාව මර්දනය කිරීමට ඔවුන් පරණ ක්‍රම නැවත භාවිත කරන බවත්ය.
















































