
චීනයේ පැවැත්වෙන ලෝක මනුෂ්‍ය ස්වරූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී (World Humanoid Robot Games), මානව මලල ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මනුෂ්‍ය ස්වරූපී රොබෝවරයෙක් (Humanoid Robot) උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳදමා තිබේ.
බීජීං මනුෂ්‍ය ස්වරූපී රොබෝ විද්‍යා නවෝත්පාදන මධ්‍යස්ථානය (Beijing Innovation Centre of Humanoid Robotics) විසින් සංවර්ධනය කරන ලද මෙම රොබෝවරයා, තරගාවලිය අතරතුර මීටර් 100 දුර ප්‍රමාණය තත්පර 9.39 කින් පසුකරමින් මෙම විශිෂ්ට දක්ෂතාව දක්වා ඇත.
ඔලිම්පික් රන් පදක්කම් අටක හිමිකරුවෙකු වන ජැමෙයිකානු ක්‍රීඩක යුසේන් බෝල්ට් විසින් 2009 වසරේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.58 කින් අවසන් කරමින් පිහිටුවන ලද වාර්තාව මෙතෙක් මිනිසෙකු විසින් තබා ඇති ලෝක වාර්තාව වේ.
මෙම ඉසව්වේදී රොබෝවරුන් කිහිප දෙනෙක්ම තරග වැදුණු අතර, චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු වන Honor ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද තවත් රොබෝවරයෙක් පරීක්ෂණ ධාවන වටයකදී එම දුර තත්පර 9.32 කින් පසුකර තිබූ බව නිෂ්පාදකයෝ පවසති.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම රොබෝ ක්‍රීඩා උළෙලට ධාවන තරග පමණක් නොව බොක්සිං සහ පාපන්දු වැනි ක්‍රීඩා ඉසව් ද, ඇඳුම් පිළිවෙළට තැබීම වැනි ගෘහස්ථ දෛනික කටයුතු සිදුකිරීමේ අභියෝග ද ඇතුළත් වේ.


















































