
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු සියල්ල දැවී ලකුණු 462ක් රැස් කළේය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දෙව්දත් පඩික්කාල් ලකුණු 167ක් සහ කේ.එල්. රාහුල් ලකුණු 82ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක් සහ කේෂර නුවන්ත කඩුලු 3 ක් බිඳහෙලූහ.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284 කට සීමා විය.
අභියෝගාත්මක ඉනිමක නිරත වූ සොනාල දිනූෂ ලකුණු 100ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 80 ක් ලබා ගනිමින් ඉනිම සබල කළහ.
ඉන්දීය පන්දු යැවීමේදී මානව් සුතර් කඩුලු 4 ක් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් දවා ගත්හ.
ලකුණු 178 ක පළමු ඉනිමේ වාසියක් සහිතව දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව කඩුලු සියල්ල දැවී ලකුණු 193 ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් ලකුණු 66ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් බිඳහෙලූහ.
ලකුණු 372 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 206 කට සීමා විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සොනාල දිනූෂ ලකුණු 84ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 59ක් රැස් කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දෙවන ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මානව් සුතර් ලකුණු 55 කට කඩුලු 6 ක් බිඳහෙළීමට සමත් විය.







































