ඉන්දීය ආරක්ෂක ඇමති මෙරට නිල සංචාරයකට සැරසෙයි

ඉන්දීය ආරක්ෂක ඇමති මෙරට නිල සංචාරයකට සැරසෙයි

August 18, 2026   06:04 am

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

අදාළ සංචාරය සැප්තැම්බර් මස පළමු සතිය තුළ සිදුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය අතර සාකච්ඡාවක් ද පසුගියදා පවත්වා තිබේ.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

දෙරට අතර ඒකාබද්ධ මෙහෙයුම්, පුහුණු වැඩසටහන්, කලාපීය ආරක්ෂක ගැටලු පිළිබද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ද ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට සංචාරයක නිරත වීමට  නියමිතව තිබූ අතර එය පසුව අවලංගු කරනු ලැබීය.