මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද
August 18, 2026 05:41 am
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
අද සිට දින 5ක් අඛණ්ඩව කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත අතර ලබන 23 වන දින සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 27 වන දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මේ අතර අද දින වීථි සංචාරය කරනු ලබන කුඹල් පෙරහැර වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
මෙහිදී වාහන ධාවනයට විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇත.
පළමු කුඹල් පෙරහැර රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතය.
ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලය තුළ කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා මහනුවර නගරයට ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය හරහා යටිනුවර වීදියට පිවිස, මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහාද පොලිස් හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමට හැකියාව පවතී.
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර සහ දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ හැකිය.
එමෙන්ම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළුවීමටද හැකියාව පවතී.
මහනුවර නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ, රැජින හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
තවද, බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කිරීමටද හැකියාව ඇත.
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීමට සහ මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.
ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයට පැමිණෙන ජනතාව සහ රියදුරන් පොලීසිය ලබාදී ඇති රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
