පෙරහැර බලන්න මහනුවරට එන පිරිසට පොලීසියෙන් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක්

පෙරහැර බලන්න මහනුවරට එන පිරිසට පොලීසියෙන් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක්

August 17, 2026   08:43 pm

හෙටින් (18) ආරම්භවන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලීසිය විසින් හඳුන්වා දී ඇත.

ඒ අනුව, එම පද්ධතිය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන මහජනතාවට පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ පහත සඳහන් කරුණු පිළිබඳව සජීවී තොරතුරු ලබාගත හැකි බව පොලීසිය පවසයි.

ඒ හරහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

මීට අමතරව,

රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු
පෙරහැර ගමන් ගන්නා මාර්ගය
පෙරහැර නැරඹිය හැකි සුදුසු ස්ථාන
සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන
අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන, යන තොරතුරුද ලබාගත හැකි බව දැනුම් දී ඇත.

මෙම පද්ධතියට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් පද්ධතියට පිවිසිය හැකිය.

එමෙන්ම, පෙරහැර වෙනුවෙන් සකස් කර විශේෂයෙන් https://kandyesalaperahera.police.lk පොලිස් වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකිය.

මෙම සේවාව ලබා ගැනීම තුලින් මහජනතාව හා බැතිමතුන් වෙත අනවශ්‍ය ගමනාගමනයෙන් වැලකී, සැබෑ කාලීන තොරතුරු හරහා ඉක්මන් හා පහසු සේවාවක් ලබා ගැනීමෙන් කාලය ඉතිරි කරගතහැකි වනු ඇත.

එසේම ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍රය හෝ පරඝණකය ඔස්සේ මෙම සේවාව බුක්ති විදීමේ පහසුව සැලසීම හා පෙරහර සමයේදී මහජනතාවගේ හා බැතිමතුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම පදිධතිය නිර්මාණය කර ඇත.

ඒ අනුව පෙරහැර නැරඹීම සඳහා පැමිනීමේදී මෙම සේවාව භාවිතා කර ගමන් පහසුව සලසාගන්නා මෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් හා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම  ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි.