මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර හෙට - රථවාහන සැලැස්ම මෙන්න

මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර හෙට - රථවාහන සැලැස්ම මෙන්න

August 17, 2026   03:58 pm

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, පෙරහැර ගමන් කරන කාලය තුළ රථවාහන ධාවනය සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ.

2026 අගෝස්තු 18 වනදා ආරම්භ වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු 28 වනදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය.

පොලීසිය සඳහන් කළේ, පෙරහැර කාලසීමාව තුළ මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

හෙට පැවැත්වෙන පළමු කුඹල් පෙරහැර රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතය.

ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලය තුළ කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා මහනුවර නගරයට ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය හරහා යටිනුවර වීදියට පිවිස, මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහාද පොලිස් හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමට හැකියාව පවතී.

තැන්නේ කුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර සහ දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ හැකිය.

එමෙන්ම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළුවීමටද හැකියාව පවතී.

මහනුවර නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ, රැජින හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

තවද, බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුඹුර දෙසට ගමන් කිරීමටද හැකියාව ඇත.

කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීමට සහ මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයට පැමිණෙන ජනතාව සහ රියදුරන් පොලීසිය ලබාදී ඇති රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.