මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් හෙට සිට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් හෙට සිට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

August 17, 2026   02:16 pm

වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාවට නැංවෙන බව පොලීසිය පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ හෙට (18) දිනයේ සිට මෙම රථ වාහන සැලසුම ක්‍රියාවට නැංවෙන බවය.

හෙට දිනයෙන් ආරම්භ වන කුඹල් පෙරහැර එළැඹෙන 22 දින දක්වාත් 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැරද වීථී සංචාරය කිරීමටද නියමිතව තිබේ.

ඒ අනුව පෙරහැර පවත්වන කාලසීමාව ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර මාර්ග බාධක ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථවාහන ගාල් කිරීම යන කරුණු කිහිපයකින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බව සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

තවද පෙරහැර නැරඹීමට පැමිණෙන පිරිස් වෙත යම් හදිසි උපකාරයක් අවශ්‍ය වුවහොත්  081 22 33 333 යන හදිසි දුරකථන අංකයක් ස්ථාපිත කර ඇති බවත් මීට අමතරව 071 859 1045 යන දුරකථන අංකයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා සම්බන්ධ කර ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක්

පෙරහැරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් ද යොදා ගැනීමට කටයුතු සංවිධානය කර ඇති අතර මේ සඳහා පොලිස් නිල සුනඛ සහායද ලබා ගැනීමටද නියමිතය.

පොලීසිය පැවසුවේ දළදා පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරී ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමට ද අපේක්ෂා කරන බවය.

රථවාහන ගාල් 13ක් 

පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන පිරිස් වෙත රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13ක් සකස් කරන බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව සැහැල්ලු වාහන රථ ගාල් 6ක් සහ බරවාහන රථ ගාල් 07ක් ද මහජනතාවගේ පහසුව සඳහා වෙන් කෙරෙන බවද පැවසීය.

තවද පෙරහැර කාලසීමාව තුළදී මහනුවර නගරය මගහැර රථවාහන ගමන් කිරීම සඳහා රියදුරන් හට විකල්ප මාර්ග හඳුන්වා දී ඇතැයිද ඒ අනුව අදාළ කාලසීමාව තුළදී එම විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙසද පොලීසිය රථවාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

එම රථවාහන සහ ආරක්ෂක සැලැස්ම පහතින්,