ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක කළමනාකරණ වැඩපිළිවෙළක්

ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක කළමනාකරණ වැඩපිළිවෙළක්

August 17, 2026   11:52 am

ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සේවාවන් කාර්යක්ෂම කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම පිළිබඳ විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය, කවුඩුල්ල, හුරුලු ජාතික උද්‍යානවලදී සිදු කෙරිණි.

මෙහිදී මින්නේරිය, කවුඩුල්ල උද්‍යානවලට දිනකට ජීප් රථ 400-600කට ආසන්න විශාල සංඛ්‍යාවක් ඇතුළු වීමෙන් වනජීවීන්ට සහ පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් මඟින් විද්‍යාත්මක ධාරණ ධාරිතා අධ්‍යයනයක් කඩිනමින් සිදු කිරීම මෙන්ම ගමනාගමන පාලනය සඳහා මින්නේරිය උද්‍යානයට ඇතුලු වීමට සීගිරිය-පේක්කුලම ආශ්‍රිතව නව පිවිසුමක් ඇති කිරීම කෙරෙහි ව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. 

එමෙන්ම මින්නේරිය ජාතික වනෝද්‍යානයට පස්වරු 2.00න් පසුව ඇතුළුවන වාහන බටුඔය පිටවීම හරහා යොමු කර තදබදය අවම කිරීම පිළිබඳ මෙහි දී විශේෂයෙන් කරුණු සාකච්ඡා කෙරිණ. 

ඩිජිටල්කරණය සහ ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා මින්නේරිය සහ කවුඩුල්ල උද්‍යාන සඳහා එක් ස්ථානයකින් ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෙන්ම, Hurulu Eco Park සඳහා ද නගරබදව ක්‍රියාත්මක වන පරිදි නව Online Ticketing පද්ධතියක් හඳුන්වා දීමට ඉදිරියේ දී කටයුතු කෙරේ.

ඩිජිටල් පාලන පද්ධති උද්‍යාන ගේට්ටු ආශ්‍රිතව වාහන ඇතුළුවීම සහ පිටවීම අධීක්ෂණය කරන මාර්ගගත පද්ධතිය (Online System) යාවත්කාලීන කර, පිවිසුම් ගේට්ටුවල පවතින රථවාහන තදබදය වහාම පාලනය කිරීමට නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් අතර සංචාරක පහසුකම් සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම උදෙසා හුරුළු පරිසර උද්‍යානයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් උදෙසා උසස් මට්ටමේ ආහාර පාන පහසුකම් සහිත ස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම සඳහා ද සාකච්ඡා කෙරිණි. 

මින්නේරිය,කවුඩුල්ල උද්‍යානයන් තුළ සංචාරකයින් රැඳී සිටිය යුතු අවම කාලසීමාවක් නියම කිරීමටත්, සංචාරකයින්ට නැරඹීම සඳහා උද්‍යානයන් තුළ කෞතුකාගාර නවීන අංගයන්ගෙන් සමන්විතව ආකර්ෂණීය ලෙස ප්‍රතිසංස්කරණය කිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී ඇත.

අමතර ආදායම් උත්පාදන ක්‍රමවේද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම වර්ධනය කිරීම සඳහා වනජීවී තේමා කරගත් T-shirts, සිහිවටන (Souvenirs) සහ දේශීය නිෂ්පාදන උද්‍යාන පරිශ්‍රයන්හිදී අලෙවි කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට ද යෝජනා වී තිබේ.

අදාළ රාජ්‍ය ආයතන, නිලධාරීන් සහ පරිසර විශේෂඥයන් සම්බන්ධීකරණය කරගනිමින් මෙම තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින් දේශීය හා විදේශීය සංචාරකයින්ට ගුණාත්මක සේවාවක් සැපයීමටත්, මව්බිමේ වනජීවී හා පාරිසරික පද්ධතීන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමටත් අපේක්ෂා කෙරේ.