නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න රු.ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලීසියේ 4ක් අත්අඩංගුවට
August 17, 2026 10:52 am
තණමල්විල නිකවැව දෙමෝදර වැව ආශ්රිත ගංජා හේනක් වටලා එහි සැකකරුට නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග නොගෙන සිටිම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන යුදගනාව, බුත්තල පදිංචි 37 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 45 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, මැදගම, බිබිල පදිංචි 39 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක් හා කිවුලපිටලන්ද, බිබිල පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
තණමල්විල නිකවැව දෙමෝදර වැව ආශ්රිත ගංජා හේනක් පවතින බවට තණමල්විල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට පුද්ගලික තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 11 වනදා අදාළ ප්‍රදේශය වටලා ගංජා හේනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව අවට සිදුකළ සෝදිසියේදී සැකකරුට අයත් තවත් ගංජා හේන් තුනක්ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.
ඊට අමතරව තවත් ගංජා හේනක් කපා පුච්චා තිබෙනු දැක පොලිස් නිලධාරීන් සැකකරුගෙන් මේ පිළිබදව ප්‍රශ්න කර ඇත.
එහිදි සැකකරු පවසා ඇත්තේ පසුගිය 10 වනදා මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හය දෙනෙකු පැමිණ මෙහි වැටලිමක් සිදු කළ බවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට තමාගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගත් බවත් ය.
අනතුරුව එම නිලධාරින් පිරිස එහි තිබූ ගංජා හේන් පහෙන් එකක් පමණක් ගිනි තබා විනාශ කර ඉතිරි ගංජා ප්‍රමාණය රැගෙන ගිය බව ද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබේ.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් තිබියදී නිකවැව ප්‍රදේශයේ පදිංචි කලු නැමති පුද්ගලයෙකු ද ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් හය දෙනෙකු පැමිණ මෙම ගංජා තොගය වියළන ලෙස තමාට පැවසූ බවය.
අනතුරුව සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා රැදවුම් නියෝග ලබාගෙන තිබේ.
ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත තණමල්විල පොලිසිය විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
