බංග්ලාදේශයෙන් ඉන්දියාවට තරවටු කිරීමක්

බංග්ලාදේශයෙන් ඉන්දියාවට තරවටු කිරීමක්

August 16, 2026   09:25 pm

ඉන්දියාව විසින් හිටපු අගමැති ෂෙයික් හසීනා පිටුවහල් කරන තුරු බංග්ලාදේශ අගමැති තාරික් රහමාන් එරට සංචාරය නොකරන බව බංග්ලාදේශය තහවුරු කර ඇත.

2024 වසරේ ඇති වූ විරෝධතා හමුවේ පලා ගිය හිටපු අගමැතිවරිය ඉන්දීය රජය විසින් සිය රටට භාර දෙන තෙක් අගමැතිවරයාගේ ඉන්දියානු සංචාරයක් සිදු නොවන බව එරට විදේශ අමාත්‍යාංශය දන්වා තිබේ.

ෂෙයික් හසීනාගේ ආණ්ඩුව බිඳ දැමූ මාරාන්තික ආණ්ඩු විරෝධී විරෝධතා වලින් පසු ඇය අසල්වැසි ඉන්දියාවට පලා ගියේය.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වී ඇති ඇයට බංග්ලාදේශයේදී මරණ දණ්ඩනය නියම වී ඇති අතර,  බංග්ලාදේශ විසින් ඇයව නැවත භාර දෙන ලෙස කිහිප වතාවක්ම ඉල්ලා ඇත.

බංග්ලාදේශයේ පිටුවහල් කිරීමේ ඉල්ලීම "පරීක්ෂා කරමින් පවතින" බව ඉන්දියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

පසුගිය පෙබරවාරි මාසයේදී බලයට පත් වූ අගමැති තාරික් රහමාන්, බංග්ලාදේශ නායකයන් තම පළමු විදෙස් සංචාරය ඉන්දියාවට සිදු කිරීමේ සම්ප්‍රදායෙන් බැහැරව මැලේසියාව සහ චීනය යන රටවල සංචාරය කර ඇත.

ඉන්දීය මහකොමසාරිස්වරයා පසුගිය සතියේ අගමැති රහමාන් හමුවීමත් සමඟ යම් ප්‍රගතියක් අත්වනු ඇතැයි යන අපේක්ෂාවන් මතු වුවද, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරුවකුව සිටින ෂෙයික් හසීනා අඛණ්ඩව මාධ්‍ය සමඟ සම්බන්ධ වීම හේතුවෙන් එම ක්‍රියාවලියට බාධා එල්ල වී ඇති බව බංග්ලාදේශය පවසයි.

තම 15 වැනි වසරක පාලන සමයේදී ඒකාධිපතියෙකු වූ බවට විවේචනයට ලක් වූ හසීනා, සිරගත වීමට සිදු වුවද දෙසැම්බර් මාතයේදී යළි බංග්ලාදේශයට පැමිණෙන බව මේ මස මුලදී ප්‍රතිඥා දී තිබුණි.