ඩෙංගු රෝගීන් ගණන 92,000 ඉක්මවයි
August 16, 2026 10:47 am
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ද 68ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.96%ක් එනම් රෝගීන් 48,725ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය මෙරට වැඩිම ඩෙංගු අවදානම සහිත පළාත බවට පත්ව තිබේ.
දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු පළාතෙන් වන අතර එය රෝගීන් 13,533ක් ලෙස සටහන් වී ඇත.
මීට අමතරව මධ්‍යම පළාතෙන් රෝගීන් 8,274ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,558ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේ දී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,631 කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,245ක්, මහනුවරින් 6,613ක්, මාතරින් 6,036ක්, කළුතරින් 5,951ක්, ගාල්ලෙන් 5,039ක් සහ රත්නපුරෙන් රෝගීන් 4,935ක් වාර්තා වී ඇත.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,700ක් වාර්තා වේ.
මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,968 කි.
එමෙන්ම ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ මැයි මාසයේදී රෝගීන් 8,590ක් වාර්තා වී ඇත.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 15 තුළ පමණක් රෝගීන් 6,671 දෙනෙකු වාර්තා වී තිබේ.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් තම පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමටත් යොමු වන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
