එල් නිනෝ නිසා ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ අවදානමක්
August 15, 2026 06:40 pm
එල් නිනෝ සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඔවුන් විසින් නිකුත් කළ මුදල් ප්රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ එල්නිනෝ සංසිද්ධියේ බලපෑම හේතුවෙන්, නුදුරු හා මැදිකාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යාමේ අවධානමක් පවතින බවය.
ආර්ථික වර්ධනය මෙලෙස පහළ යාම සඳහා සාධක කිහිපයක් හේතු විය හැකි අතර විශේෂයෙන් එල්නිනෝ තත්ත්වය හේතුවෙන් දිගුකාලීන වියළි කාලගුණ තත්ත්ව හා අක්රමවත් වර්ෂාපතන රටා ඇතුළු අයහපත් කාලගුණ තත්ත්ව ඇතිවිය හැකි බව මහ බැංකුව පෙන්වා දී තිබේ.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එමගින් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඒ ආශ්රිත ආර්ථික ක්රියාකාරකම්වලට අහිතකර ලෙස බලපෑම් එල්ල විය හැකි බවය.
මීට අමතරව ජලාශවල ජල මට්ටම පහළ යෑම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වී වැඩි පිරිවැයක් සහිත තාප විදුලි උත්පාදනය මත රඳා පැවතීමට සිදුවිය හැකි අතර එමගින් බලශක්ති සහ නිෂ්පාදන වියදම් ඉහළ යෑමේ හැකියාව පවතින බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්.
සමස්තයක් ලෙස මෙම ප්රවණතා කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා යන අංශයන්හි ආර්ථික ක්රියාකාරකම් කෙරෙහි බලපෑම් කළ හැකි අතර එහි ප්රතිඵලයක් ලෙස වර්ධන ගමන් මග පුරෝකථනය කර ඇති මට්ටමට වඩා අඩුවිය හැකි බව මහ බැංකුව පෙන්වා දී තිබේ.
