මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට තිත තබන බවට ධීවර ඇමතිගෙන් සහතිකයක්

මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට තිත තබන බවට ධීවර ඇමතිගෙන් සහතිකයක්

August 15, 2026   02:09 pm

ධීවර ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනමින් ප්‍රායෝගික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අම්පාර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. 

එහිදී දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නැංවීම, ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිළිබඳවෙ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

ඊට සහභාගී වූ ධීවර සමිති නියෝජිතයෝ, තමන් දිනපතා මුහුණ දෙන වෘත්තීය ගැටලු සහ අභියෝග පිළිබඳව අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළහ. 

ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට විශාල තර්ජනයක්ව පවතින මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සහ එම ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කඩිනම් හා ස්ථිර වැඩපිළිවෙළක් අමාත්‍යාංශය මගින් සකස් කළ යුතු බව ධීවර සමිති නියෝජිතයෝ අවධාරණය කළහ.

එමෙන්ම ඔලුවිල් වරාය පූර්ණ ධීවර වරායක් ලෙස ශ්‍රේණිගත කිරීමටත්, වරායේ ගොඩගැසී ඇති වැලි ඉවත් කර ධීවර කටයුතුවලට සුදුසු පරිදි වරාය සංවර්ධනය කිරීමටත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී. 

අදාළ නිලධාරීන් සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කරන ලද ගැටලුවලට ප්‍රායෝගික හා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහතික විය.

ඔලුවිල් වරාය සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වරාය භාවිත කරමින් ආයෝජනය කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් රැසක් උනන්දුවක් දක්වන බවය. 

ඔවුන්ගේ සහභාගීත්වයෙන් වරාය සංවර්ධනය කිරීමටත්, ධීවරයින්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ධීවර ක්ෂේත්‍රය වඩාත් ලාභදායී හා තිරසාර එකක් බවට පත්කිරීම සඳහා වැදගත් තීරණ රැසක් මෙම රැස්වීමේදී ගනු ලැබීය.