අවුරුද්දකට නඩු ලක්ෂ දෙකක් විසඳන සමථ මණ්ඩලයට අධිකරණ ඇමතිගෙන් පැසසුම්
August 14, 2026 05:03 pm
වාර්ෂිකව නඩු ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් සමථ මණ්ඩල විසින් නිරාකරණය කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික සමථ දින සැමරුම් උත්සවයට අද (14) එක්වෙමිනි.
2026 වසර සමථකරණ ක්‍රියාවලිය සඳහා සුවිශේෂී වසරක් ලෙස සඳහන් කළ හැකි බවත් මෙවර අයවැය මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 800කට අධික ප්‍රතිපාදන වෙන් කළ බවත් ඒ මහතා අවධාරණය කළේය.
මෙම ප්‍රතිපාදන මගින් ප්‍රමාදවී පැවති පුහුණු වැඩමුළු පැවැත්වීමටත්, සමථකරුවන් පත් කිරීමේ කටයුතු නිසි පරිදි සහ නිසි කාලයට සිදු කිරීමටත් හැකියාව ලැබේ.
එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා සමථ මූල මණ්ඩල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කර ඇති බව ද හර්ෂණ නානායක්කාර මහතා කීය.
ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පසුගිය වසරේදී පිහිටුවීමට හැකි විය.
එමෙන්ම, අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල හඳුන්වාදී තිබේ.
එහි පළමු අදියර ලෙස කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06 ක විශේෂ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කර ඇති බව සඳහන්ය.
මෙවැනි වැඩපිළිවෙළවල් තුළින් අප බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක් නොව අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන්, සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබාදීම බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අප රට පුරා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ඉතාමත් කැපවීමෙන් සේවය කරන 9000කට අධික සමථකරුවන්ගේ සේවය අගය කළ යුතු බව ද හෙතෙම කීය.
එමෙන්ම, දිවයින පුරා පිහිටි ප්‍රජා සමථ මණ්ඩල 332ක් සහ විශේෂ සමථ මණ්ඩල 31ක් සම්බන්ධීකරණය කරමින්, මෙම ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සලසන සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොමසාරිස්වරුන්, ලේකම්වරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ද සිය ස්තූතිය පිරිනමන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
