විවාහ මංගල උත්සවය ඛේදවාචකයකින් අවසන් වෙයි
August 14, 2026 04:27 pm
වේයන්ගොඩ, මඟලෙගොඩ - නයිවල මාර්ගයේ දී වෑන් රථයක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි නවෝද් චතුරංග නමැති 21 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ මිත්තණිය වූ 80 හැවිරිදි කාන්තාවකි.
වැඩිමහල් සොහොයුරියගේ විවාහ මංගල උත්සවය අවසන් වී වේයන්ගොඩ හීන්දනීය ප්‍රදේශයේ පිහිටි සිය නිවස කරා ආපසු ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මනමාලියගේ සහෝදරයා වෑන් රථය රියදුරු ලෙස කටයුතු කර ඇති අතර මව, පියා සහ මිත්තණිය ඇතුළු 9දෙනකු එහි ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් පසු වෑන් රථයේ ගමන් ගත් සියලු දෙනා තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රියදුරු ලෙස කටයුතු කළ සහෝදරයා සහ මිත්තණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම තුවාල ලැබූ 7දෙනා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වේයන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.
