නීතිවිරෝධීව රැගෙන ආ දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධීව රැගෙන ආ දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

August 14, 2026   09:54 am

නීතිවිරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් අද උදෑසන 6.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" ඔස්සේ අදාළ දුම්වැටි තොගය පිටකර ගෙන යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය වසර දෙකක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතව සිට පැමිණි කාන්තාවක බවද වාර්තා වේ.

ඇය විසින් සිය සේවා කාලය නිමවා ආපසු මෙරට බලා පැමිණීමේදී මෙම දුම්වැටි තොගය සාජා නුවරින් මිලදී ගෙන මෙරටට පැමිණ ඇති බවද සඳහන් වී තිබේ.

ඇය විසින් එහිදී රැගෙන ආ ගමන් මළු 04ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,200ක් අඩංගු දුම්වැටි කාටූන් 176ක් ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් පනස් දෙලක්ෂ අසූ දහසකට ආසන්න බවද වාර්තා වේ. 

සිද්ධිය සම්බන්ධව විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකර ඇති රේගු නිලධාරීන් දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති අතර, ඇයට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කර තිබේ.