ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වෙයි

August 13, 2026   04:32 pm

“ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ එම බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්ව තිබේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා විය.

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන කසළ කළමනාකරණ නව වැඩසටහන පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ අංශයක් ජනාධිපති කාර්යාලය තුළ පිහිටුවීම කෙරෙහිද මෙම හමුවේදී අවධානය යොමු කෙරිණි. 

තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත් කිරීම සහ කොළඹ මහනගර බල ප්‍රදේශය තුළ කසළ කළමනාකරණය, නගර අලංකරණය, ඇළ මාර්ග පිරිසිදු කිරීම, මලාපවහන පද්ධති නවීකරණය කිරීම, උද්‍යාන නිසි පරිදි ප්‍රතිසංස්කරණ කිරීම ආදී වැඩසටහන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඒ වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

මීට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අයත් ප්‍රධාන කුලුනු තුනෙන්, දෙකක් වන සමාජීය සහ ආචාර ධාර්මික කුලුනු සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි වසරේ කටයුතු සැලසුම් කළ යුතු බවටද එහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයෝද, රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.