විභාග කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යා යුතුයි - අගමැතිනිය
August 13, 2026 02:07 pm
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධතිය විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
කොළඹදී ඊයේ (12) පැවති “250 Years of Educational Excellence: Lessons from a Sri Lankan American” මහජන දේශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ විභාග කේන්ද්‍රගත ක්‍රමයෙන් ඔබ්බට ගොස්, ක්‍රියාකාරකම් හා අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වාදීම බවද ඇය පැවසුවාය.
පවතින අධ්‍යාපන පද්ධතියේ සාර්ථක අංග ඉවත් නොකරන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, වර්තමාන හා අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය නවීකරණය කිරීම ප්‍රතිසංස්කරණවල අරමුණ බව සඳහන් කළාය.
එමෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමත්, අධ්‍යයනමය හා වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහා සමාන පිළිගැනීමක් ලබාදීමත් වැදගත් බව ඇය පෙන්වා දුන්නාය.
සියලු දෙනා ඇතුළත්, නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.
