ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තනතුරෙන් ඉල්ලා අස්වෙයි
සයුරෙන් එතෙර

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තනතුරෙන් ඉල්ලා අස්වෙයි

August 13, 2026   07:40 am

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී සිය තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

තම දරුවන් සහ පවුලේ අය සමඟ කාලය ගත කිරීම සඳහා ඇය මෙම තනතුරෙන් ඉවත් වන බවත්, තමා එම තීරණය සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන ගරු කරන බවත් ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර ඇත. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ කැරොලයින් ඉදිරියේදී සිය ප්‍රධානතම බාහිර උපදේශකයෙකු ලෙස මෙන්ම රිපබ්ලිකන් පක්ෂය තුළ බලගතු හඬක් ලෙස කටයුතු කරනු ඇති බවය.

වයස අවුරුදු 28ක් වන ලෙවිට් පසුගිය වසරේදී ඉතිහාසයේ ලාබාලම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස මෙම ධුරයට පත්විය.

 ඇය වෙනුවට පත්වන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

පවුලේ කටයුතු සහ මව්පිය පදවිය වෙනුවෙන් මෙම තීරණය ගත් බව පවසමින් ලෙවිට් 'X'  සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, මෙම රැකියාව තමාගේ ජීවිතයේ ලැබුණු ලොකුම ගෞරවයක් සහ වික්‍රමාන්විතයක් බවය. 

කුඩා දරුවන් දෙදෙනෙකු බලාගනිමින් ලෝකයේ වඩාත්ම අභියෝගතා සහගත රැකියාවක නිරත වීම තමා මුහුණ දුන් දැඩිම අත්දැකීමක් වූ බවත්, ධුරයේ අපේක්ෂිත කාලය හා ශ්‍රමය කැප කරමින් හොඳම මවක් වීමට නොහැකි වන බැවින් ධවල මන්දිරයෙන් සමුගැනීමට තීරණය කළ බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රථම වරට ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ සහකාර මාධ්‍ය ලේකම්වරියක සහ කථිකාචාරිනියක ලෙස සේවය කළ ඇය, අනතුරුව කොන්ග්‍රස් මන්ත්‍රී එලිස් ස්ටෙෆනික් යටතේ සන්නිවේදන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කර ඇත. 

2024 මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස ඇය සේවය කළ අතර, සිය ධුර කාලය තුළ මාධ්‍ය සමඟ දැඩි සංවාදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිලධාරිනියක ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියාය.