2026 සංවර්ධන ව්‍යාපෘති සියල්ල ඉදිරි මාස 3 තුළ අවසන් කරන්න - අගමැතිනිය

2026 සංවර්ධන ව්‍යාපෘති සියල්ල ඉදිරි මාස 3 තුළ අවසන් කරන්න - අගමැතිනිය

August 11, 2026   09:00 pm

2026 වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කර ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස 3 ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (11) පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ වැඩසටහන ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට ලක්කර තිබේ.

මීට අමතරව බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන මෙන්ම පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කර ඇත.

සංවර්ධන වැඩසටහන්වල වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමෙන් පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමටත්, ව්‍යාපෘති කඩිනමින් නිමකර ජනතාවට ප්‍රතිලාභ ලබාදීමටත් හැකිවන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙම සියලු ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ දරිද්‍රතාව තුරන් කිරීම බැවින්, අත්දැකීම් මත පදනම් වූ නිර්ණායක සකස් කර වැඩසටහන් නියාමනය කිරීම තුළින් ඒවායේ ගුණාත්මකභාවය සහ දීර්ඝකාලීන ප්‍රතිඵලදායකත්වය තහවුරු කළ යුතු බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම, ඉඩම්, ඇළ මාර්ග සහ කානු පද්ධති සම්බන්ධයෙන් වගකීම දරන ආයතනයක් නොමැතිවීම පිළිබඳව මීට පෙර මතුවූ ගැටලුව සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කළාය.

කිසිදු වගකීම් දරන ආයතනයක් නොමැති මාර්ග හෝ ඇළ මාර්ග පැවතිය නොහැකි බව අවධාරණය කළ ඇය, ඇළ මාර්ග සහ ගංගාවල අයිතිය ගැසට් නිවේදනයක් මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින බව නිලධාරීන් විසින් දැනුම්දීමෙන් අනතුරුව, ඉදිරියේදී සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එය බාධාවක් කර නොගන්නා ලෙස උපදෙස් ලබාදුන්නාය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සැලසුම් කමිටු නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.