පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවුණාද - ඇමතිගෙන් පිළිතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවුණාද - ඇමතිගෙන් පිළිතුරක්

August 11, 2026   04:57 pm

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කිසිදු අයුරකින් ඉහළ දැමීමට රජය කටයුතු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට රජය විසින් ලබා දී ඇති ඉන්ධන දීමනාව අනුව ඇතැම් පාර්ශ්වයන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩි කර ඇතැයි පෙන්වා දී ඇති බවය.

කෙසේ නමුත් එවැනි කිසිදු අයුරකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රජය වැටුප් වැඩි කිරීමට පියවර ගෙන නොමැති බව අමාත්‍යවරයා අද පැවැති කැබිනට් හමුවේදී සඳහන් කළේය.

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරලා නෑ. 50,000න්, 60,000න්, 100,000න් හරි කීයකින් වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකරලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයක් පවතිනවා. ඒ ඉන්ධන ලීටර් ප්‍රමාණයට සාපේක්ෂව ඒක දීමනාවක් හැටියට එකතු වෙනවා. මේක සාමාන්‍යයෙන් ඒ මොහොතේ පවතින තෙල් මිලත් එක්ක තමයි ගණනය කිරීම් කරන්නේ. හැබැයි 2026 මාර්තු මාසේ ඉඳලා ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක මේ ප්‍රමාණය ගණනය කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රජයේ නිලධාරීන්ට සිදුවුණානම් ඒක විශාල වැඩිවීමක් වෙනවා. ඒ නිසා 2026 මාර්තු මාසේ 1 වැනිදා තිබුණු තෙල් මිල පදනම් කරගෙන තමයි ගණනය කිරීම් කළේ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි දක්වා ඒ කාලේ තෙල්මිලට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒ ගණන් හැදුවානම් මීට වඩා ඉහළ ප්‍රමාණයක් ඔවුන්ට හිමිවෙනවා. නමුත් අපි මාර්තු 1 වැනිදා පැවැති මිල අනුව ගණන් හැදුවා ඒ චක්‍රලේඛය අපි ජූලි මාසේ 1 වැනිදා අවසන් කළා. ජූලි මාසේ 1 වැනිදා ඉඳලා ගණන් හැදෙන්නේ. 1 වැනිදාට වෙළෙඳපොලේ පවතින මිල අනුව. අඩු වුණොත් අඩු වෙනවා වැඩි වුණොත් වැඩි වෙනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වුණ නිසා අර අමතරව එකතු වෙච්ච ගණනක් ගණන් හදලා පෙන්වලා තියෙන්නේ."