හෙට ලංකාවටම පැහැදිලිව පෙනෙන අහසේ විශ්මිත රඟමඩල

හෙට ලංකාවටම පැහැදිලිව පෙනෙන අහසේ විශ්මිත රඟමඩල

August 11, 2026   04:38 pm

හෙට (12) අලුයම, හිරු උදාවීමට පෙර නැගෙනහිර සහ දකුණු අහස හරහා බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය චාපාකාර ලෙස පෙළ ගැසෙනු ඇති බව ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.

තාරකා විද්‍යාඥයින් මෙය "ග්‍රහලෝක පෙළගැස්ම" (planet parade) ලෙස හඳුන්වන අතර, මෙම පෙළ ගැස්ම ඉතා විශේෂිත වන බව සඳහන් වෙයි.

මෙම ග්‍රහ ලෝක හයෙන් හතරක්ම ඇසට පැහැදිලිව දැකගත හැකිය.

ශ්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටා ඇති බැවින්, මෙම අලුයම ග්‍රහ පෙළගැස්ම නැරඹීමට අපට ඉතා හොඳ දර්ශන පථයක් හිමිවන බව එම ආයතනය පවසයි.

හිරු උදාවීමට විනාඩි 60 සිට 90 දක්වා කාලයකට පෙර නැගෙනහිර ක්ෂිතිජයේ සිට දකුණ දෙසට නිරීක්ෂණය කළ යුතුය.

අගෝස්තු මැද භාගයේදී කොළඹට හිරු උදාව පෙරවරු 6ට පමණ වන බැවින්, අලුයම 4.30ත් 5.15ත් අතර කාලය තුළ එළිමහනට බැස නිරීක්ෂණය කිරීම සුදුසු බව කියවේ.

අඟහරු සහ සෙනසුරු ග්‍රහයන් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි අතර, බුධ සහ බ්‍රහස්පති ග්‍රහයන් නැගෙනහිර අහසේ ඉතා පහලින් පිහිටන බැවින් හිරු නැගීමට මද වේලාවකට කලින් නැගෙනහිර ක්ෂිතිජයේ උවත් පහසුවෙන් නැරඹීමට අපහසු විය හැකිය. 

යුරේනස් නිරීක්ෂණයට ද්වීනෙත්‍රිකයක් (binoculars) සහ නෙප්චූන් සඳහා දුර දක්නයක් (telescope) අවශ්‍ය වේ.

මෙම කාලසීමාව තුළදීම තවත් විශේෂිත අභ්‍යවකාශ සිදුවීමක් සිදුවේ.

එනම්, ජූලි 17 සිට අගෝස්තු 24 දක්වා සක්‍රියව පවතින, අගෝස්තු 12 වනදා රාත්‍රියේ සිට 13 වනදා අලුයම දක්වා උපරිමයට පැමිණෙන Perseids උල්කාපාත වර්ෂාවයි. 

Perseids යනු 1862 දී සොයා ගන්නා ලද, වසර 133කට වරක් සූර්යයා වටා ගමන් කරන කිලෝමීටර් 26ක් පළල 109P/Swift-Tuttle ධූමකේතුවේ කොටස් වේ. 

මෙම උල්කාපාත කඩා හැලෙන බව පෙනී යන්නේ Perseus තාරකා රාශිය දෙසින් බැවින් එයට මෙම නම ලැබී ඇත. 

මෙවර උල්කාපාත වර්ෂාව උපරිම වන දිනය අමාවක දිනයකට යෙදෙන බැවින්, අඳුරු අහසක් සහිත ඉතා සුදුසු නිරීක්ෂණ තත්ත්වයන් ලැබෙනු ඇත.

පැහැදිලි අහසක් පවතින විට පැයකට උල්කාපාත 100ක් දක්වා දැකගත හැකි වනු ඇත. 

හොඳම දර්ශනය සඳහා, හෙට සහ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඊසාන දිග අහස දෙස බැලිය යුතු බවත්, අඳුරට ඇස් හුරු කර ගැනීමට විනාඩි 20 සිට 30 දක්වා කාලයක් ලබා දිය යුතු බවත් එම ආයතනය පවසයි.