ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම ගැන ඇමති නලින්ද කියන කතාව

ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම ගැන ඇමති නලින්ද කියන කතාව

August 11, 2026   04:30 pm

ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට මූලික වැටුපට අදාළව දිය හැකි දීමනා ලබා දී ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීම පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට මූලික වැටුප් වැඩිවීමක් පසුගිය 2025 වසරේදී සහ මෙම වසරේදීද සිදුකර ඇති බවත් එළැඹෙන 2027 වසරේදීත් මූලික වැටුප් වැඩිවීමක් සිදුවන බවය.

රජය විසින් ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය කරමින් ආදායම් එක් රැස් කරමින් පවතින බවත් ඉන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා සඳහා වෙන් කරන බව පැවසූ අමාත්‍යවරයා යම් අයෙකුට වැටුප් සම්බන්ධව ගැටලුවක් පවතින්නේ නම් වැටුප් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කළ හැකි බවද සඳහන් කළේය.

"රජය මූලික වැටුප් වැඩි කිරීමක් කරලා තියෙනවා ඉහළ මට්ටමකින්. 2025 අප්‍රේල්වල වැඩි කළා, 2026 වැඩි කළා 2027දීත් වැඩි කිරීමට නියමිතයි. තව මාස කිහිපයක් ගියාට පස්සේ සියලූම රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. මම දන්නේ නෑ ඒක එපා කියලාද දීමනාව ඉල්ලන්නේ කියලා. ඒ මූලික වැටුපට අදාළව දෙන්න පුළුවන් දීමනා ලබා දීලා තිබෙනවා ආර්ථික තත්ත්වය අනුව. අපි සුපිරී ආර්ථික තත්ත්වයක ඉඳලා නෙමේ රට බාර ගත්තේ. ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය කරගෙන යනවා, ආදායම් එකතු කරගෙන යනවා ඒ ආදායම්වලින් සැලකිය යුතු කොටසක් රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සේවකයින්ට වැටුප්, දීමනා ගෙවීම සඳහා ඉදිරිපත් කෙරෙනවා. කාටහරි තමන්ගේ දීමනා පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවානම්, වැටුප් සම්බන්ධව ප්‍රශ්නයකුත් තිබෙනවානම් වැටුම් කොමිසමකුත් දාලා තියෙන්නේ ඒවාට කරුණු ඉදිරිපත් කරන්න."