මහනාහිමිවරු ජනපතිට යොමුකළ ලිපිය ලැබිලා - ඇමති නලින්ද කරුණු පහදයි
August 11, 2026 03:32 pm
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපියේ අඩංගු කරුණු අනුව තමා සහ අධිකරණ අමාත්‍යවරයා මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවය.
"මහානාහිමිවරුන් විසින් ඉදිරිපත් කළ ලිපිය... මහානාහිමිවරුන් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන 22වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් එකට ඉදිරිපත් කරන්න කලින් මමත් අධිකරණ ඇමතිතුමත් කරුණු පැහැදිලි කිරීමක් කළා. අපේ පැත්තෙන් අපි අදහස් දැක්වුවා. අපි බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයට මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනත් සංශෝධනය ගෙන එන්න කලින් මේ කරණු ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්වල ස්වාමීන්වහන්සේලාට අපි කරුණු ඉදිරිපත්කළා "
කෙසේවෙතත් පසුගිය 04 වනදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ත්රෛිනාකයික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධව තමන් මෙතෙක් දැනුවත් නොමැති බවය.
ඊට පෙර දින එනම් අගෝස්තු 03 දිනයේදී තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මල්වතු, අස්ගිරි, සහ රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසුණු බවත් එහිදී 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළ බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී පවසාසිටියේය.
