අද දිවයිනේ කිසිදු ප්‍රදේශයක ගංවතුර අවදානම් තත්ත්වයක් නෑ - වාරිමාර්ග
August 11, 2026 06:40 am
දිවයිනට ඇදහැලුණු වර්ෂාපතනයේ අඩුවීමත් සමග දැනට කිසිදු ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා අද (11) පෙරවරුවේ සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුගඟ සහ මහවැලි ගංගා ඉහළ ධ්රෝණි ප්‍රදේශවලට වාර්තා වී ඇති බවයි.
එම වර්ෂාපතනය ද මිලිමීටර් 20කට ආසන්න අගයක් ගන්නා බව හෙතෙම පැවසීය.
ඊයේ දිනයේදී ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි වර්ෂාව ලැබී තිබුණද, එම ප්‍රදේශවල වාර්තා වී ඇත්තේ මිලිමීටර් 10ට අඩු අඩු වර්ෂාපතනයකි.
දිවයිනේ සෙසු ප්රදේශවලටද මිලිමීටර් 10ට අඩු අඩු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වර්ෂාපතනයේ මෙම අඩුවීම හේතුවෙන් දිවයිනේ කිසිදු ගංගාවක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදු වී නොමැති අතර, ගංවතුර අවදානම් තත්ත්වයක් ද මතු වී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් තහවුරු කළේය.
