කොලොම්බියාවට ප්‍රබල භූකම්පනයක් - 20ක් මරුට

කොලොම්බියාවට ප්‍රබල භූකම්පනයක් - 20ක් මරුට

August 10, 2026   09:18 pm

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් තිබේ.

භූකම්පනයෙන් පේරෙයිරා නගරයේ පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, කඩා වැටුණු ගොඩනැගිලි තුළ තවත් පිරිසක් සිරවී සිටින බව එහි නගරාධිපතිවරයා සඳහන් කර ඇත.

මැනිසාලෙස් නගරයේදීද පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

කොලොම්බියාවේ ප්‍රධාන නගරයක් වන කැලිහි ගොඩනැගිලි අවම වශයෙන් 20ක් කඩා වැටී ඇති අතර, ඒවා තුළ පුද්ගලයින් සිරවී සිටින බවට වාර්තා වී තිබේ. 

මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බොගෝටා සහ මෙඩෙලින් නගරවලින් ආපදා සහන කණ්ඩායම් කැඳවා ඇත.

භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කරයි.

කිලෝමීටර් 96ක පමණ ගැඹුරකින් සිදුව ඇති මෙම භූකම්පනය හේතුවෙන් ක්විබ්ඩෝ ඇතුළු ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ පිරිසක්ද වාර්තා වී තිබේ.

පසුකම්පන ඇතිවිය හැකි බැවින් ජනතාවට අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම්දී ඇත.

මේ අතර, පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ගුවන් තොටුපළවල ව්‍යුහාත්මක ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර තිබේ.

භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කරයි.

එමෙන්ම අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්‍රාන්තය සහ බැරිනාස් හා බාර්කිසිමෙටෝ ඇතුළු ප්‍රදේශවලටද භූකම්පනය දැනී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහන් කර ඇත.