රත්මලානේ සයිමාගේ පැටිකිරිය
August 10, 2026 09:01 pm
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන අද (10) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සංවිධානාත්මක අපරාධ රැසකට අදාළ තොරතුරු අනාවරණ වී තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මැලේසියානු පොලීසියේ සහ ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී රතු නිවේදනයක් නිකුත් කර තිබූ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පේරාදෙණිය සහ තිස්සමහාරාම ප්‍රදේශවලද තාවකාලිකව පදිංචිව සිට ඇති බවට අනාවරණ වී තිබේ.
2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනි අවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී එම පොලිස් වසමේදීම පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු ලෙස ඔහු නම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම නඩු සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
මීට අමතරව, 2003 වසරේදී ගල්කිස්ස පොලිස් වසමේදී මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම, 2007 වසරේදී ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්ද ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මැලේසියාවේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් දෙදෙනාද වැඩිදුර විමර්ශන සඳහා අද මෙරටට රැගෙනවිත් තිබේ.
මේ අතර, පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ “රත්මලානේ සයිමා” නමැත්තා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ මූල්‍ය කටයුතු මෙහෙයවා ඇති බවය.
කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය කටයුතුද සයිමා නමැත්තා විසින් මෙහෙයවා ඇති අතර, ඔහුගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටද කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම, පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට මැලේසියාවේ සැඟව සිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සයිමා නමැත්තා පහසුකම් සලසා ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇත.
කලක් ප්‍රංශයේ රැඳී සිටින “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති සයිමා පසුව කංජිපානි ඉම්රාන් සමඟ එක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.
“කුඩු අංජු” විසින් සයිමා නමැත්තා ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඒ සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් විසින් ඔහුට දැනුම්දීමෙන් අනතුරුව සයිමා කංජිපානි ඉම්රාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සයිමා නමැත්තා මීට වසර 10කට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ උපදෙස් සහ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.
