රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා මැලේසියාවෙන් පිටත්වෙයි

රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා මැලේසියාවෙන් පිටත්වෙයි

August 10, 2026   03:47 pm


මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා මැලේසියාවෙන් පිටත්ව ඇති බව වාර්තා වේ.

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර, සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් මෙරටට රැගෙන එනු ලබයි.

මෙම සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මැලේසියාවේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් සහ එරට පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රත්මලානේ සයිමා නමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙයවා ඇති බවය.

එමෙන්ම කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය කටයුතුද ඔහු විසින් මෙහෙයවා ඇති අතර, ඔහුගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටද සයිමා නමැත්තා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට මැලේසියාවේ සැඟව සිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සයිමා නමැත්තා පහසුකම් සලසා ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇත.

කලක් ප්‍රංශයේ සැඟව සිටින “කුඩු අංජු” නමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති සයිමා පසුව කංජිපානි ඉම්රාන් සමඟ එක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

කුඩු අංජු විසින් සයිමා නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් විසින් සයිමාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු කංජිපානි ඉම්රාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

රත්මලානේ සයිමා නමැත්තා මීට වසර 10කට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.