සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ

August 10, 2026   01:26 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනුකර ඇති පෙත්සමට ඉදිරිපත්වී ඇති අතරමැදි පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය  ලබන 25 වැනිදා දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළේය.

ඒ එම අතරමැදි පෙත්සම් අද  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී සලේ මහතාගේ නීතීඥයා අධිකරණයට පැවසුවේ ආගමික නායකයන් දේශපාලන ක්‍රියා සඳහා මැදිහත්වීම නුසුදුසු වන අතර බෞද්ධ සිද්ධස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ලවූ අවස්ථාවලදී මහ නා හිමිවරු විමර්ශන සඳහා මැදිහත්වීම් නොකළ බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමට ගොනු කර ඇති අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම අදත් සිදුකෙරුණි.

ඒ එහි සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේය.

එහිදී ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවේය. 

"ස්වාමීනි එක්සත් ජාතීන්ගේ සීවිල් හා දේශපාලන අතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තියෙන්, කිසිඳු පුද්ගලයෙකු ආගමික හෝ ජාතික පදනම යටතේ වෙනස්කම් වලට භාජනය නොකළ යුතු බව දක්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙනවා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න එම තනතුරුවලට පත්කරන ලෙස ඉල්ලා සිටියේ කාදිනල් තුමා බව. ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම සුදුසු නෑ. ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අය බව ඔවුන් විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් වල සඳහන් කර තිබෙනවා. මෙවැනි පුද්ගලයින් මේ විමර්ශනය සිදුකරන්නේ කොහොමද?  ජනක් ද සිල්වා කොමිසම නිර්දේශ කර තිබෙනවා අපරාධ විමර්ශනවලට දේශපාලන මැදිහත් වීම් සිදුකිරීම නුසුදුසු බවට. අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් සිදු නොවිය යුතු බවත් එම කොමිසම සඳහන් කර තිබුණා.  අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවුණා. දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේදී මහා නායක හිමිවරු රජයෙන්  ඉල්ලා සිටියේ නෑ තමන් කැමති විමර්ශකයන් එම විමර්ශනය සඳහා පත් කරන ලෙසට." යනුවෙන් සඳහන් කළේය. 

පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල වීමට පෙර ඒ පිළිබඳ කලින්ම තොරතුරු ලැබී තිබුණද එය වළක්වා ගැනීමට වගඋත්තරකරුවන් නිසි ක්‍රියාමාර්ග  නොගත් බවත් නීතීඥවරයා එහිදී කියා සිටියේය.

අතරමැදි පෙත්සම්කරුවෙකු වන පූජ්‍ය වේපතහිර හේමාලෝක හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අශෝක් බරන් මහතා ද අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.

"ස්වාමීනී, ඕනෑම පුද්ගලයෙකු නිසි අධිකරණයක් මගින් වරදකරු කරන තුරු ඔහු නිවැරදිකරුවෙකු ලෙස නීතිය ඉදිරියේ උපකල්පනය කෙරෙනවා. පුරවැසියන් සතු එම අයිතිය ආරක්ෂා කිරීමටයි මගේ සේවාදායක හිමියන් අධිකරණයට පැමිණියේ. චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශයවූ වීඩියෝවක අසාද් මවුලානා නමැත්තෙකු සිදුකළ ප්‍රකාශයක් මුල්කරගෙන මේ විමර්ශනය ආරම්භ වී තිබෙනවා.  අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ" යනුවෙන් ඔහු කියා සිටියේය. 

පසුව කරුණු දැක්වූයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මියයි.

"ස්වාමීනී මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීම ගැන මා විරුද්ධ වෙනවා. මෙම අතරමැදි පෙත්සම් මේ අවස්ථාවේදී සලකා බැලීමට හැකියාවක් නැහැ. මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කළොත් පමණයි ඒවා සලකා බැලීමට හැකියාව ලැබෙන්නේ. මේ අතරමැදි පෙත්සම්කරුවන් අධිකරණයට පැමිණ තිබෙන ආකාරයත් ගැටලුසහගතයි. කාදිනල්තුමා හැර අනෙක් අතරමැදි පෙත්සම්කරුවන් පැමිණ ඇත්තේ සුරේෂ් සලේ මහතාට සහාය පළ කිරීමට. පෙත්සම්කාර සලේ ඉල්ලන සහනය ප්‍රදානය කරන්නැයි ඔවුන් සිය අතරමැදි පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා. එවැනනක් සලකා බැලීමට හැකියාවක් නැහැ. සුරේෂ් සලේගේ පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් මා මේ වන විටත් මූලික විරෝධතා මතුකර තිබෙනවා. යම් හෙයකින් එම මූලික විරෝධතා පිළිගෙන එම පෙත්සම අධිකරණයෙන් නිෂ්ප්‍රභ වේ යැයි අප උපකල්පනය කළහොත් මෙම අතරමැදි පෙත්සම්වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?" යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් සිය නීතිමය ස්ථාවරය මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය. 

ඒ අනුව මෙම අතරමැදි පෙත්සම් ලබන 25 වනදා යළි කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය එදින ඉදිරිපත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුනි.

ඒ අනුව සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ පෙත්සම සහ ඊට අදාළව ඉදිරිපත් කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ද එදින යළි සලකා බැලීමට කැඳවන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළේය.