තියුණු ආයුධයකින් පහරදී ඥාතියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දණ්ඩනය
August 9, 2026 09:11 pm
තියුණු ආයුධයකින් පහරදී සිය ඥාතියෙකු වූ යුද හමුදා සෙබළෙකු ඝාතනය කළ එකම පවුලේ සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමට බලපිටිය මහාධිකරණය පසුගිය දා (07) නියෝග කර තිබේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනාට බලපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබූ අතර එහිදී පළමු විත්තිකරුට මරණ දණ්ඩනය නියම කළ මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අනෙක් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටද නියෝග කළේය.
2016 වසරේ ජනවාරි මස 07 වන දින හෝ ඊට ආසන්න දිනයකදී බලපිටිය මහාධිකරණ බලප්‍රදේශයට අයත් පිටිගලදී එල්.එච්. මහේස් නෙරන්ජන් යන හිටපු යුද හමුදා සෙබළා තියුණු ආයුදයකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කර තිබුණි.
එකී ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය අනුව මරණකරුගේ ඥාතීන් දෙදෙනෙකු වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296වන වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමටද කටයුතු කර තිබුණි.
මෙකී මරණය සම්බන්ධයෙන් ගොනුවූ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සත්සර සමරරත්න සහ ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලදාරී එස්.ඒ.ඩී චන්න පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබිණි.
ඝාතනය සම්බන්ධයෙන් ලඝු නොවන මූලික නඩු විභාගය ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වා ඇති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා බලපිටිය මහාධිකරණයට යොමු කර තිබුණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක මෙනවිය පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගයාන් මල්ලියාවඩු මහතා පෙනී සිටියේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය විමර්ශන මෙහෙයවා තිබුණි.
